විවිධත්වයට ඉඩදෙන්න : කිසිවෙකු මඟ හැරීමට නොදෙන්න

ෂිහාරා මාදුවගේ (මාධ්‍ය හා සන්නිවේදන නිලධාරි – EQUAL GROUND)

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකුගේ “පෙනුම”හේතුවෙන් කොළඹ ජනප්‍රිය සමාජ ශාලාවකට ඇතුළු වීම අවහිර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය සති අන්තයේ දී ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුල කැළඹිමක් ඇති කළේය. මෙම වීඩියෝවේ සිටින ආරක්ෂක නිලධාරීන් මෙම පුද්ගලයාගේ පෙනුමේ ඇති වරද කුමක්ද යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වුවුත් එයින් ගම්‍ය වූයේ ඇගේ සංක්‍රාන්ති සමජභාවී අනන්‍යතාවය හේතුවෙන් ඔවුන් එසේ කටයුතු කල බවයි. තමන්ගේ අභිමතය පරිදි ඔවුන් මේ අයුරින් කටයුතු කලාද නැතිනම් කළමනාකරණයේ උපදෙස් අනුව කටයුතු කලාද යන්න තවමත් පැහැදිලි නැත.

නමුත් මේ සිදුවීම පිළිබඳව ඉක්මණින් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කළමනාකාරීත්වය පැසසුමට ලක් කල යුතුය; වීඩියෝව නිකුත් වී පැය කිහිපයක් ඇතුළත ඔවුන් සමාව අයැද සිටි අතර සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරියා ද සේවයෙන් පහ කරනු ලැබීය. එපමණක් නොව ශ්‍රී ලංකාවේ සමරිසි ස්ත්‍රීන් හා පිරිමින්, ද්විරිසි පුද්ගලයින්, සංක්‍රාන්ති සමජභාවීන්, අන්තර් ලිංගික හා කුවියර/ තම ලිංගික දිශානිතිය හා ස්ත්‍රී පුරුෂ සමජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී පුද්ගලයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව තම කාර්ය මණ්ඩලය සංවේදී කිරීමට කැපවී සිටන බව ප්‍රකාශ කරන ලදී. පසුව කළමනාකාරීත්වය විසින් එම ආරක්ෂක නිලධාරියා නැවතත් සේවයට බඳවා ගත් අතර ඔහුව එම ආයතනයෙන් පවත්වන සංවේදීකරණ සාකච්ඡාවට ඇතුළත් කර ගැනීමට තීරණය කළේය.

ඔවුන් එම සිද්ධියට ඉක්මන් ප්‍රතිචාර දැක්වුවද, අවම වශයෙන් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හෝ තම සේවාදායකයකුට ඔවුන්ගේ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂභාවය / අනන්‍යතාවය / ප්‍රකාශනය මත පදනම්ව වෙනස් කොට සැලකූ බව අනාවරණය වීමත් සමඟ එම ආයතනයේ කීර්තිනාමයට යම් තරමක හානියක් සිදුවිය.

අවාසනාවට මෙය හුදෙකලා සිදුවීමක් නොවේ. ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වලදී – එය අවන්හල්, කැෆේ හෝ තරු පහේ හෝටල් තුල – LGBTIQ පුද්ගලයින්ට අපහාස කිරීම, හිරිහැර කිරීම සහ වෙනස් කොට සැලකීම දැකිය හැක. ආයතනවලට ඇතුළුවීමට ඉඩදීම ප්‍රතික්ෂේප කිරීම, වැරදි සර්වනාම භාවිතා කිරීම, අවමන් සහගත ප්‍රකාශ කිරීම සහ වෙනත් එවැනි ක්‍රියා බහුලව සිදු වේ.

විවිධත්වයට ඉඩදීම (Diversity and Inclusion) පිළිබඳ පුහුණුව එතරම් වැදගත් වන්නේ ඇයි?

එවැනි සන්දර්භයක් තුළ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර, විශේෂයෙන් සේවා අංශයේ ව්‍යාපාර තම සේවා යෝජකයින් සහ සේවකයින් විවිධත්වයට ඉඩදීම  (Diversity and Inclusion)  පිළිබඳ පුහුණු කිරීම හා LGBTIQ ප්‍රජාව හා සම්බන්ධ ගැටළු වලට සංවේදී කිරීම අත්‍යවශ්‍ය වේ. වෙන කවරදාකටත් වඩා දැන් එය අවශ්‍ය වන්නේ ව්‍යාපාරවලට, විශේෂයෙන්ම ආගන්තුක සත්කාර සහ සංචාරක කර්මාන්තවල සිටින අයට COVID-19 වසංගතයෙන් දැඩි ලෙස පහර වැදී ඇති බැවිනි.

නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලින් පෙනී යන්නේ මාර්තු මැද භාගයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගී ගුවන් ගමන් සහ නැව් පැමිණීම නතර කිරීම හේතුවෙන් මේ වසරේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා සංචාරකයින්ගේ පැමිණීම් වාර්තා වී නොමැති බවයි.එහි ප්‍රථිපලයක් වශයෙන්, 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා වාර්තා වූ මුළු පැමිණීම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 60% කින් අඩු වී තිබේ. මෙයින් අදහස් වන්නේ තවදුරටත් යම් පාර්ෂවයන්ට වෙනස් ලෙස සලකීම ව්‍යාපාරයන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපාන බවයි. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් දක්වන, ජනගහනයෙන් සැලකිය යුතු  කොටසක් වන LGBTIQ ප්‍රජාවට වෙනස් කොට සැලකීම කළ නොහැකි බවයි.

යමෙකුගේ  ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී  අනන්‍යතාවය / ප්‍රකාශනය  නිසා ඕනෑම කෙනෙකුට වෙනස් කොට සැලකීම සදාචාර විරෝධී වීම හැරුණු විට, විවිධත්වයට ඉඩදීම  (Diversity and Inclusion) පිළිබඳ පුහුණුව මගින් සමාගම්වලට පැහැදිලි ප්‍රතිලාභ කිහිපයක් ලබා ගත හැකිය. සේවා ස්ථානයේ  විවිධත්වයට ඉඩදීම (Diversity and Inclusion)  යන්නෙන් අදහස් කරන්නේ යමෙකු රැකියාවට බඳවා ගැනීමේදී ඔවුන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, ජාතිය, ආගම, ශාරීරික හැකියාවන්, මානසික සෞඛ්‍යය, පසුබිම් සහ අත්දැකීම් පිලිබඳ  නොසලකා ඔවුන් සමාගමේ වටිනාකම්වලට ගැලපේද යන්න හා ඔවුන්ට තම කාර්යභාරය  නිසි ලෙස ඉටු කළ හැකිද යන්න පමණක් සලකා බැලීමයි. එමෙන්ම මෙම පුද්ගලයන්ට සාධාරණ ලෙස වැටුප් හා වේතන ලබා දෙන බව ද එයින් අදහස් වේ. සේවා කර්මාන්තය සම්බන්ධයෙන් ගත් කල, එයින් අදහස් කරන්නේ තම ගනුදෙනුකරුවන්ට ද එක හා සමානව සැලකීම සහ ඔවුන්ගේ පසුබිම හෝ  ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය / ප්‍රකාශනය මත පදනම්ව කිසිවෙකුට වෙනස් ලෙස නොසැලකිය යුතු බවයි.

මිෂෙල් ෆුලර්ටන්ගේ (Bank of America Merrill Lynch, ලන්ඩන්, එක්සත් රාජධානිය) පර්යේෂණයන්ට අනුව, LGBTIQ ප්‍රජාව කෙරෙහි මිත්‍රශීලී වීම ව්‍යාපාරවලට තම කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් අප දැන් ජීවත් වනවා වැනි අවිනිශ්චිත ආර්ථික කාලවලදී, ඉහළ කාර්ය මණ්ඩල පිරිවැටුමක් මිල අධික විය හැක. නිපුණ හා දක්ෂ ශ්‍රමය සොයා ගැනීම ශ්‍රී ලංකාවේ බොහෝ සමාගම් මුහුණ දෙන පොදු ගැටළුවක් වන අතර සේවා ස්ථානය තුළ විවිධත්වයට ඉඩදීම මඟින්  ඉහළ ශ්‍රම පිරිවැටුම හා සම්බන්ධ පිරිවැය වළක්වා ගැනීමට ව්‍යාපාරවලට හැකි වේ.

එපමණක් නොව, විවිධත්වයට ඉඩදීම මඟින්  විශේෂයෙන් LGBTIQ ප්‍රජාවට හිතකාමී වීම තුළින්  විශේෂයෙන් සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේදී වැඩි පාරිභෝගිකයන් පිරිසක්  ආකර්ෂණය කර ගැනීමට ව්‍යාපාරවලට උපකාරී වේ. දෙපාර්ශවයේම කැමැත්තෙන්, වැඩිහිටියන් අතර, ඇතිවන සමරිසි සබඳතා ලොව බොහෝ රටවල සාපරාධී වරදක් නොවේ.

ඇත්ත වශයෙන්ම, 2017 වන විට, අන්‍යොන්‍ය ලෙස එකඟ වූ වැඩිහිටියන් අතර තවමත් සමරිසි සම්බන්ධතා අපරාධයක් ලෙස සලකන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 72 ක් පමණි. ශ්‍රී ලංකාවේ ඉහළම ජාත්‍යන්තර සංචාරක ජනනය කරන වෙළඳපොලක් වන ඉන්දියාව 2018 දී සමලිංගික සබඳතා අපරාධයක් නොවන බව තීරණය කරන ලදී. යුරෝපයේ සහ ඇමරිකාවේ වෙනත් බොහෝ සංචාරක ජනන වෙළඳපොලවල් LGBTIQ පුද්ගලයන්ට විවාහ වීමට නිදහස ලබා දී ඇත. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාව සඳහා තුන්වන විශාලතම විදේශ විනිමය උපයන්නෙකු වන හෙයින්, සංචාරක කර්මාන්තයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාව තුළ  විවිධත්වයට ඉඩදීම  (Diversity and Inclusion) සහ LGBTIQ ප්‍රජාව කෙරෙහි සංවේදී වීම අතිශයින් වැදගත් වේ.

තවද, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා පමණක් නොව, වෙනත් අංශවල ද ජාත්‍යන්තර වෙළඳපොලවල් තුළ තරඟකාරී වීමට නම් වෙනස් කොට නොසැලකීම පිලිබඳ ජාත්‍යන්තර නියමයන්ට අනුකූල වීම වැදගත් ය.

නෛතික අභියෝගයන්ට මුහුණ දීම

ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට  යටත් විජිත සමයේ ක්‍රියාත්මක වූ යම් ආකල්ප නිසා, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්තිය මගින් අන්‍යොන්‍ය ලෙස කැමැත්ත දක්වන වැඩිහිටියන් අතර සමරිසි ලිංගික සම්බන්ධතා අපරාධමය වරදක් ලෙස නම් කර ඇත. ඒ අනුව ස්වභාව ධර්මයට විරුද්ධ වූ  ලිංගික සංසර්ගය සහ දරුණු අශෝභන ක්‍රියාවන් නීතියෙන් දඬුවම් ලැබිය හැකි අපරාධයන් බව එහි සඳහන් වේ.

ඊට අමතරව වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම සම්බන්ධයෙන් වන දණ්ඩ නීති සංග්‍රහයේ 399 වන වගන්තිය සහ පාදඩ ආඥා පනතද ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාවට එරෙහිව, විශේෂයෙන් සංක්‍රාන්ති සමජභාවීන්ට එරෙහිව භාවිතා කරනු ලැබේ.

තේරුම් ගත යුතු වැදගත් දෙය නම්, “අශෝභන ක්‍රියාවන්” සහ “අස්වාභාවික ලිංගික සංසර්ගය” අපරාධමය වරදක් ලෙස නම්කර ඇති වුවත්, විවිධ ලිංගික දිශානතියන් සහ ස්ත්‍රී පුරුෂභාවය / අනන්‍යතාව  / ප්‍රකාශනය නීති විරෝධී නොවන බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් මූලික අයිතිවාසිකම්වල 12 (2) වගන්තිය යටතේ “ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි පදනමක් මත කිසිදු පුරවැසියෙකුට වෙනස්කම් නොකෙරේ” යන්න සදහන් වී ඇත. මෙයින් පෙනෙන්නේ  වෙනස් කොට සැලකීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බවය.

අවම වශයෙන් අවස්ථා දෙකකදී, ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ LGBTIQ පුද්ගලයින් ව්‍යවස්ථානුකූලව ආරක්ෂා කර ඇති බවට ප්‍රකාශ කර ඇති අතර ලිංගික දිශානතියන් සහ ස්ත්‍රී පුරුෂභාවය / අනන්‍යතාව  / ප්‍රකාශනය පිළිබඳ වෙනස් කොට නොසැලකීම මෙම ව්‍යවස්ථාමය විධිවිධාන යටතට  ව්‍යාංගයෙන් ඇතුළත් බව හඟවා ඇත.

2016 දී මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීමත් සමඟ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛ දෙකක් නිකුත් කරමින්, උපතේදී නිල ලේඛන මගින් තමන්ට ලබා දී ඇති ස්ත්‍රී පුරුෂ භාවය සංශෝධනය කිරීමට අපේක්ෂා කරන සංක්‍රාන්තික සමජභාවීන්ට තම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සහතික ලබා දීමට කටයුතු කරන ලදී. මෙම නෛතික තත්වයන් සලකා බැලූවිට පැහැදිලි වන්නේ  කෙනෙකුගේ ලිංගික දිශානතියන් සහ ස්ත්‍රී පුරුෂභාවය / අනන්‍යතාව  / ප්‍රකාශනය මත පදනම්ව ඔවුන්ට වෙනස් ලෙස සැලකීමට කිසිම ව්‍යාපාරික ආයතනයකට නොහැකි බවයි.

වෙනස්වන ගෝලීය ප්‍රවණතා සහ තාක්ෂණික හා සමාජීය දියුණුවත් සමඟ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාගම් වලට- ඔවුන් දේශීය හෝ විදේශීය වේවා – LGBTIQ ප්‍රජාව ඇතුළුව, ආන්තික කණ්ඩායම් වලට අපහාස කර, හිරිහැර කර, අපයෝජනය කරසහ / හෝ වෙනස් කොට සැලකීම් සිදු කර ගැලවීම දුෂ්කර වී ඇත. අපට අනුව ව්‍යාපාරික ආයතන ඉදිරියේ ඇති තේරීම සරලයි: විවිධත්වය හා ඇතුළත් කිරීම පුහුණු කර අනාගතය ජයගන්න, නැතිනම් තවදුරටත් කිසිවෙක් පිළි නොගන්නා  පෞරාණික භාවිතයන් අනුගමනය කර පාරිභෝගිකයන්ගෙන් කොන්වන්න.

විවිධත්වයට ඉඩදීම පිළිබඳ පුහුණු හා සංවේදී වැඩසටහන් පවත්වන ශ්‍රී ලංකාවේ එකම LGBTIQ සංවිධානය EQUAL GROUND වේ. media@equalgroundsrilanka.com / +94114334279 තුලින් අප හා සම්බන්ධ වන්න