“ගැහැණු වෙන්න හදන පිරිමි” – Rebuttal to this article

A rebuttal to the derogatory and erroneous article published in the Divaina newspaper on 17th July 2016. It is a shame for Upali Newspapers to associate themselves with articles as factually incorrect and reeking of bias and bigotry. We hope this rebuttal will be published by the Divaina, which would be the correct thing to do considering all citizens do have the ‘right of reply’ to any published materials that may have erroneous and hate incing materials.
The offensive article can be found on http://www.divaina.com/2016/07/17/feature21.html

Our response is as follows:
මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින අන්තර්ජාල ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව තිබේ.පොදුවේ සමසෙනෙහස් කාන්තා (Lesbian), සමසෙනෙහස් පුරුෂ (Gay), ද්වි සෙනෙහස් කාන්තා හා පුරුෂ ( Bisexual), සංක්‍රාන්ති සමාජභාවීය (Transgender), අන්තර්ලිංගික (Intersex), හා ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රශ්නභාවී (Questioning) යන්න වෙනස් ලිංගික හා ස්ත්‍රි පුරුෂ සමාජභාවීය අනන්‍යතාවක් ලෙස තේරුම්ගැනීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව මිත්‍ර විසින් ඔහුගේ ලිපිය ලිංගිකත්වය හා ලිංගික ක්‍රියාකාරකම්වල ඇති වාණිජමය මූලධර්ම මත පදනම්ව ලියා ඇති බැවිනි. එමෙන්ම එවැනි ලිවීමකදී මාධ්‍යවේදීයෙකු සතුවිය යුතු මානවවාදී ගුණය මෙන්ම මාධ්‍ය ආචාරධර්මවලට ඇති සංවේදීභාවය අමතක කර දමා ඇති බැවිණි.
නපුංසක යන පදය ඔහු විසින් බොහෝ අවස්ථාවලදී සඳහන්කර ඇති නිසා මිත්‍ර විසින් නපුංසක යන පදය සොයාගත්තේ කොහෙන්ද? ඔහු නපුංසක යන්න අර්ථ දක්වන්නේ කෙසේද යන්න ගැටළුවක් පවතී. එහෙක් ඔහුගේ ලිපියේදී ගැහැණුන්ට අඳින පිරිමි හා පිරිමින්ට අඳින ගැහැණු යනුවෙන් දක්වා තිබේ. මා විසින් දන්නා පරිදි පිරිමියා විසින් ගැහැණියට ඇඳීම හුදෙක් කාමලෝලී හෝ අශ්ලීල ලෙස දැකිය යුත්තක් නොව බොහෝ රටවල සංස්කෘතික හා කලාත්මක ප්‍රකාශන ලෙස විරුද්ධ ලිංගිකයන් ලෙස නිරූපණය වීම සිදුවී තිබේ. අදටද සිදුවේ, පහත රට ශාන්තිකර්ම, සළුපාලිය, සොකරි, බලි තොවිල් මෙන්ම නවගමුව පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතාද ගැහැණියට අඳී. එහිදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අප ප්‍රශ්න කරන්නේ නැත. හේතුව කලාත්මක නිර්මාණයක් ලෙස ලිංගිකත්වය ප්‍රතිනිර්මාණය කිරීමේදී වැදගත්වන්නේ කලාත්මක ප්‍රකාශනය මිස ගැහැණු පිරිමි බව නොවන නිසාය. කලාත්මක හෝ පරමාදර්ශී පදනමක් නොමැතිව පිරිමියා විසින් ගැහැණියට ඇඳීම හෝ ගැහැණිය විසින් පිරිමියාට ඇඳීම මිත්‍රට අනුව “නපුංසකවීම” වේ. පිරිමියා විසින් ගැහැණියට ඇඳීම හෝ ගැහැණිය විසින් පිරිමියාට ඇඳීම (Crossdressing) හුදෙක් මානසික ප්‍රකාශනයක් ලෙස ගත යුතු බව අන්තර්ජාතික මනෝවිද්‍යා සංගමයේ විශ්වාසයයි. පුද්ගලයන් විසින් තම මනෝභාවයන්, මානසික ප්‍රකාශන මතුපිට සමාජයට ප්‍රකාශ කිරීම නපුංසකභාවයක් නොව ඔහු හෝ ඇය විසින් පෙනී සිටීමට කැමති ලිංගරූපීභාවය ප්‍රකාශ කිරීමක් වේ. විශාදය, ක්ලමතය හෝ නියුරෝසියාවෙන් පෙළෙන්නෙකු ඔහු හෝ ඇයගේ මානසික ප්‍රකාශන ලෙස යම් ප්‍රකෝපකාරී හැසිරීමක් ප්‍රකට කිරීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගන්නා ලෙස එවැනි මානසික ආබාධයකින් පෙළෙන්නන් සමග ඇසුරුකරන්නන්ට වෛද්‍යවරුන් ලෙස අවවාද කිරීම කරනු ලැබේ. එලෙසම පුද්ගලයන්ගේ හැසිරීම් සමාජයට හෝ කිසි අයෙකුට හානියක් නොවේනම් ඒවාට අපහාසකිරීම් හෝ විවේචනය කිරීමට ප්‍රථමව එවැනි හැසිරීම්වලට හේතු මොනවාද යන්න තේරුම්ගත යුතුවේ. මාධ්‍යවේදියා සමාජ සම්ප්‍රේෂකයෙකු විය යුත්තේ කරුණු සොයාබලා සමාජයට පණිවිඩයක් ලබාදීමට මිස සමාජයට කුණුරසය ලබාදීමට නොවන බව අපගේ විශ්වාසයයි.
මිත්‍ර යුරෝපා රටකදී කළ සංචාරයේදී අයදුම්පත්‍ර පිරවීමේදී අනෙකුත් (Others) ලිංගිකයන් පිළිබඳ දැනගැනීමට ලැබී ඇත. එහෙත් ඔහු තම ලිපියේදී ඒ කවුරුන්ද යන්න සොයාබලා නිවැරැදි ලෙස වාර්තා කළේ නම් මෙම ලිපිය මගින් පාඨකයා ස්ත්‍රී හා පුරුෂ පමණක් නොව වෙනත් ලිංගිකයන්ද සිටින බවත් ඔවුන් හඳුන්වන්නේ අන්තර්ලිංගික(Intersex) යනුවෙන් බවත් තේරුම්ගැනීමට ඉඩ තිබුණි. එමෙන්ම මිත්‍ර විසින් “වෛද්‍ය විද්‍යාවට අනුව ළදරුවෙකු මවුකුසයෙන් බිහිවන්නේ පිරිමි හෝ ගැහැණු යනුවෙන් නියත එක් කුලයකට අයත්වයි” යනුවෙන් දක්වන්නේ කුමන වෛද්‍ය විද්‍යාව පිළිබඳවද යන්න පැහැදිලි කර නොමැත. මව්කුසයේදී දරුවෙකු පිරිමි හෝ ගැහැණුභාවය ලබන්නේ මිත්‍ර විසින් උලුප්පා දැක්වීමට උත්සාහ කරන ආකාරයේ සංස්කෘතිකමය හෝ සදාචාරමය ආකාරයකට නොවේ. ජීව විද්‍යාත්මකව ගැහැණියක ගැප්ගැනීමත් සමග නිර්මාණය වන කළලය ලිංගික වශයෙන් විභේදනය වන්නේ ක්‍රෝමසේම නම් ජානමය සම්භවයක් සහිත හෝමොන මගිනි. ජීව විද්‍යාව එකී ක්‍රෝමසේම අණු X හා Y යන සංකේත මගින් පැහැදිලි කරන අතර XX ආකාරයේ ක්‍රෝමසේම මගින් ගැහැණු කළලයක්ද XY ආකාරයේ ක්‍රෝමසෝම මගින් පිරිමි කළලයක්ද ගොඩනැගේ. එහෙත් 1:2000 අනුපාතයක් ලෙස XX හෝ XY ක්‍රෝමසෝම පිහිටියද ලිංගික අවයව මනාව නොපිහිටා හෝ අස්වාභාවිකව හෝ දරුවන් බිහිවිය හැකිය. පුරුෂ ශීෂ්ණය මනාව නිර්මාණය නොවීම, ශීෂ්ණය නිර්මාණය වුවද වෘෂණකෝෂ නිර්මාණය නොවීම, යෝනියක් පිහිටා යෝනි මාර්ගයක් නොපිහිටීම, යෝනි මාර්ගයක් ඇතුළෙන් පුරුෂ ශීෂ්ණයක මුල් කොටස යැයි සැලකිය හැකි ආකාරයේ යම් ගැටිත්තක් දක්නට ලැබීම යනාදී ආකාරයට අන්තර් ලිංගික දරුවන් ඉපදිය හැකිය.

මිත්‍ර විසින් ට්‍රාන්සර්ජෙන්ඩර් ලෙස සලකන සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් පිළිබඳ අදහසද ඔහු විසින් නිසි පරිශීලයක් හෝ මූලාශ්‍ර පිළිබඳ ගවේශනයකින් තොරව ලියා ඇති බව පෙනේ. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් යනු ජීව විද්‍යාත්මකව ලිංගික අවයව එක් ආකාරයටත් මනෝ විද්‍යාත්මකව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් මෙන් හැසිරීමට කැමති ආකාරයටත් නිර්මාණය වූවන් වේ. අප විසින් හැසිරිය යුත්තේ කුමන ආකාරයට ද, අපගේ කම්පන – ප්‍රකම්පන ක්‍රියාකළ යුත්තේ කුමන ආකරයටද, චිත්තවේගීමය , හැඟීම්මය ආදී වශයෙන් අප විසින් ක්‍රියාකළ යුත්තේ ප්‍රතිචාර දැක්විය යුත්තේ කුමන ආකාරයටද යන්න අපට සංවේදනය කරනු ලබන්නේ මනස විසිනි. මනසේ ද හයිපොතැලමස යන මානසික සංවේදන ගබඩා කරන හා නිදහස් කරන ස්ථානයෙනි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ඕනෑම රටක මෙවැනි ආකාරයට ශාරීරිකව එක් ලිංගයකටත් එහෙත් ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව වෙනත් ලිංගයකටත් අයත් පුද්ගලයන් සිටිති. EQUAL GROUND ආයතනයේ උපදේශන ඒකකයට කතා කළ එක් පුද්ගලයෙක් තමා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වන බවත් තමා සංක්‍රාන්ති වීම නිසා නිවසින් එළවා දැමූ බවත්, තමාගේ පෙනුම හා හැසිරීම නිසා රැකියාවක් ලබාගැනීමට අපහසු බවත් දන්වා සිටින ලදී. එහිදී ඔහුගේ සංක්‍රාන්තිභාවය පිළිබඳ මා විසින් අසනු ලැබූ කරුණුවලින් වැදගත් යැයි දැක්විය හැකි කරුණු කිහිපයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි. මෙම පුද්ගලයා නිමල් යනුවෙන් හඳුන්වමු.
“මගේ නම නිමල්… මට මතකයි මම මොන්ටිසෝරි ගියපු පළවෙනි දවස. නිල් පාට කමීසයක් මට අන්දලා තිබුණෙ. නිල්ම නිල් පාට වතුර බෝතලේකුත් මට තිබුණා. මගේ හොඳම යාළුවා වුණේ සඳමාලී. සඳමාලි ළඟ ලස්සන රෝස පිට සමණළයා හැඩේ තියෙන බෑග් එකක් තිබුණා. සඳමාලිගේ සපත්තු දෙකේ හිටියෙත් සමණල්ලු. පොල් ගහ වගේ කොණ්ඩෙකුත් එයාට තිබුණා. මටත් ඕණ වුනා සඳමාලිගෙ වගේ බෑග් එකක්. එයාගෙ වගේ කොණ්ඩෙ වවන්න. එයාට වගේ වළලු දාන්න. එත් අපේ අම්මගෙන් ඉල්ලුවාම එයා මට බැන්නා. උඹ පිරිමි ළමයෙක් කියලා. මට සෙල්ලම් කරන්න ලැබුණෙ තුවක්කු, බෝල බැට්. ඒත් මට ඕන වුණේ බෝනික්කෝ. මම ඒවා ඉල්ලුවත් මට ගෙදරින් ඒවා ලැබුණෙ නෑ. මම සෙල්ලම් කළේ ගෑණු ළමයි එක්ක. මට ඔන් වුණේ සෙල්ලම් ගෙදර අම්මව වෙන්න. එත් හැමදාම මට තාත්තා වෙන්න කියලයි එයාල කියන්නෙ. එහා ගෙදර දෝණි තමයි හැමදාම අම්ම වෙන්නෙ. ඒ නිසා මට දෝණිව පේන්න බෑ.
නිමල් තම සංකාන්තික අදහස් දැක්වීමේදී අනුගමනය කළ ආනුභවික ක්‍රමවේදයත් මිත්‍ර විසින් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් තේරුම් කිරීමට අනුගමනය කළ පුරුෂෝත්තමවාදී ස්වයංගෝචර ක්‍රමයත් අතර අප දකින වෙනස නම් පුද්ගලයාගේ මානසිකත්වය හා ඔවුන්ගේ මනෝභාවයන් අතර ඇතිවිය හැකි ගැඹුරු සංකීර්ණතා තේරුම්ගැනීමේදී මිත්‍ර නම් මාධ්‍යවේදීයාට වඩා මිත්‍ර නම් පුරුෂ මූලික මානවයා ඉදිරියෙන් සිටින බවයි. එහිදී අප විසින් තේරුම් කළ යුත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව යනු උපන් ළදරුවා රෝස පාට ගවුමෙන් නිල් පිට ගවුමෙන් වෙන් කරන, බෝනික්කාගෙන් තුවක්කුවෙන් වෙන්කරන ක්‍රමයට වඩා වෙනස් එකක් බවයි. අප රට තුළ වෛද්‍යවරුන්, ආණ්ඩුකාරවරියන් ලෙස සමාජ ප්‍රගමණයට දායකත්වය සපයන අයද සංක්‍රාන්ති සමාජභාවීය අයවළුන් අතර සිටින බවයි. බුදුන්වහන්සේ වරෙක පැහැදිලි කරන ආකාරයට වඩා වැදගත්වන්නේ පුද්ගලයා කරන්නෙ මොනවාද?, ඔවුන්ට එසේ වූයේ ඇයිද යන්න සෙවීම නොවේ. මනුෂ්‍යෙයකු ලෙසින් උපත ලබා අප විසින් අප වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් කරන්නේ මොනවාද යන්නයි. කිසියම් පුද්ගලයෙකු වැරදි ශරීරයක උපත ලැබීම නින්දාවට භාජනය කිරීමක් හෝ අපවාදයට ලක්කිරීමට හේතුවක් නොවන බවත් එම පුද්ගලයා සමාජයීය පුද්ගලයෙකු බවට පත්කිරීමට අප විසින් කළ යුත්තේ කළ හැක්කේ කුමක්ද යන්න සමාජයට පණිවිඩයක් ලෙස ලබාදීම මාධ්‍යෙව්දීයෙකුගේ වගකීම විය යුතුය.
සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් හෝ සමසෙනෙහස් පුද්ගලයන් ලිංගික ශ්‍රමය සපයන අය හා ඔවුන් සමාජය නැමැති ජීවියා ව්‍යාධියට පත්කරන බව පැවසීමට මිත්‍ර විසින් ගන්නා උත්සාහය මෙන්ම නාවිකයන්, වයෝවෘද්ධ සල්ලාලයන් කාමාතුරයන් කිරීමට ගන්නා උත්සාහයද ඔහු නියෝජනය කරන පුරුෂෝත්තමවාදී සංස්කෘතික රාමුව පිළිබඳ අදහස යලි යලි සනාථ කරයි. තායිලන්තයේ පතායා වෙරළ තීරයේ සුන්දර ලලනාවන් සොයාගොස් අසරණ වූ පිරිමින්ගේ කකියන වේදනාව මිත්‍රගේ ලිපියෙන් සුසුම්ලනු දැකිය හැකිය. නාරි විශේෂඥවරුන්ට පවා හඳුනාගත නොහැකි තරමේ සිහින් පුළුලුකුල් ඇති, ගමන ඇති, රූ ලීලාව ඇති සංක්‍රාන්ති සමාජභාවීය ගැහැණුන්ගේ ආකර්ණෂයට හසුවන, රැවටෙන, හෝටල් කාමරයේදී සත්‍ය තේරුම්ගන්නා පුරුෂයන් පිළිබඳ මිත්‍ර තුළ ඇති වේදනාව ඔහුගේ වේදනාව නොවේ. සළු නොඇඳ බොළට දක්වා, සිනා නොමසෙන් දසන් දක්වා යනුවෙන් ගැහැණියට තර්ජනය කළ, හිර කළ ලිංගිකමය වශයෙන් උමතුවූ පුරුෂ මූලික මනෝභාවය පැහැදිලි කරයි. අඩුම තරමේ ඔහුගේ ලිපිය සුජාත කිරීමට යොදාගන්නා වෛද්‍ය අනිල් සමරනායක හෝ රොහාන්ත පෙරියප්පෙරුම මහතුන් විසින් දැක්වූ අදහස් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය 1990 වසරේදී ඉදිරිපත් කළ අදහස් හා නිර්දේශ, අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය 1973 දී කළ නිර්දේශ පරිශීලනය කළේ නම් මෙම ලිපිය වැදගත් ලිපියක් බවට පත් කරගැනීමට ඉඩ තිබුණි. ඉතින් මිත්‍ර අපි දැන්වත් මිත්‍ර වෙමු.

තුෂාර මනෝජ්
EQUAL GROUND

https://en.wikipedia.org/wiki/Homosexuality_and_psychology
https://en.wikipedia.org/wiki/Gender_dysphoria

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s