තාණ්ඩව : ඉසුරුත් එක්ක කියවීම

ඉසුරු චාමර සෝමවීර ‘තාණ්ඩව’ නමින් අලූත් කවි පොතක් ප‍්‍රකාශයට පත් කර ඇත. තාණ්ඩව කියන්නේ මොකක් ද? තාණ්ඩව පොත අතට ගන්නා විට මගේ සිතට නැගුණු පළමු ප‍්‍රශ්නය එයයි.

තාණ්ඩව යනු ශිව දෙවියන් විසින් පවතින ලොව විනාශ කර නවලෝකයක් නිර්මාණය කිරීම සදහා නටන නර්තනයයි. ඉසුරුගේ කවි පොත මම මුල සිට අගට කියැවූයෙමි. පවතින ලොව විනාශ කරන්නට නොව, තිබෙන ලොව තුළම, තිබෙන දෙය තුළම,  අලූතෙන් යමක් දකින්නට කළ උත්සාහයක් ලෙස තාණ්ඩව හැදින්වූවාට වරදක් නැත.

ඉසුරුගේ පොත තුළ සමසෙනෙහස ගැන කතා කෙරෙන කවි කිහිපයක් ද ඇතුළත් ව තිබිණි. මේ කවි ගැන නිදහසේ කතා කරන්නට ඉසුරු හමුවන්නට ඇත්නම් කියා හිතුනේ කවි පොත අතට ගත් දවසේමය. ඉතින් මම ඉසුරුට දුරකථන ඇමතුමක් ගෙන ඔහු හමුවන්නට වෙලාවක් ගැන ඇසුවෙමි.

ඉසුරු ඒ වෙලාවේ හිටියේ උතුරුකරේය. එහේ හරියට පායන බවත්, රස්නය ඉවසන්නට අපහසු බවත් ඉසුරු මා එක්ක කීවේය. ඉසුරු කවි ලියන්නට කතා ලියන්නට මේ තරම් හපනෙක් වූයේ කෙසේ ද? මම ඉසුරුත් එක්ක බර කයියකට වැටුණෙමි. ඉසුරුගේ කවි ඇතුළේ තවත් කවි ඇත. ඒ කවි ඇතුළේ ඉසුරුගේ ජීවන කවිය ඇත.

ඉසුරුව හම්බවෙන්නට මා යන්නට ටික දවසකට පෙර ෆේස් බුක් චැට් එකේදී මගෙන් ඉසුරු මෙසේ මගෙන් ඇසුවේය.

මං….

හම්බ වෙන්නට ඇවිත්

ප‍්‍රයෝජනයක් තියේවි ද?

මං පුංචි කොලූ ගැටයෙක්

පොඩි පොතක් ලියාපු…

මාව හම්බ වෙන්න ඇවිත්

බලාපොරොත්තු කඩ වුනොත්…

එහෙම හිතෙනවා නම්

නෑවිත් ඉන්න…

 

මම මෙහෙම උත්තර දුන්නෙමි.

කතා කරන්නට

දෙයක් නැතිකම තමයි

ඔබව හම්බවෙන්නට තියෙන…

ලොකුම සුදුසුකම

මේ රටේ ලොකු ලොකු උදවිය

හැමෝටම ඇති

ලොකුම සුදුසුකම

කතාකරන්නට දෙයක් නැති කම

කී දෙනෙක් යනවා ද?

ඔවුන් හම්බ වෙන්නට

එනිසා මමත් එන්නම්

ඔබ දකින්නට

 

”උඹත් එක්ක කතා කරලා

දිනන්නට බැහැ”

ඉසුරු උත්තර දුන්නේ එහෙමය.

———————————————————

ඉසුරු කවි ලියන්න පටන් ගත්ත හැටි කිව්වොත්…?

මම කවි ලියන්න ගත්තේ පොඩි කාලේ. ලේඛකයෙක්, කවියෙක් වෙන්න හිතාගෙන නෙමෙයි. මගේ හිතේ තියෙන මානසික පීඩනයෙන් නිදහස් වෙන්නයි මං කවි ලිව්වෙ.

අපේ තාත්තා 88 -89 භීෂණය දවස්වල දේශපාලනේ කළා. ඊට පස්සේ තාත්තාට වෙච්ච දෙයක් හොයා ගන්න නැතිවුණා. අම්මා මාවත් එක්ක ගෙන කඳවුරක්, කඳවුරක් ගානේ ගියා තාත්තා හොයාගෙන. ඒත් හොයා ගන්න බැරිවුණා. අවුරුදු හයකට විතර පස්සේ තමයි තාත්තා ගෙදර ආවේ. ඒ ආවත් මුලදි ඔහු මට ආගන්තුකයෙක් වගේ.

මේ සියල්ලම නිසා මගේ ළමා කාලය මහා ලොකු පීඩනයකින් ගෙවුනේ. ඒ පීඩනයෙන් නිදහස් වෙන්න මම කවි ලිව්වා. මම හරි බයෙන් හිටියේ මං ලියපු කවි කවුරු හරි කියවයි කියලා. ඒක නිසා මං ලඝු ලේඛනය ඉගෙන ගෙන එයින් තමයි කවි ලිව්වේ.

ඔබේ කවි ගොඩාක් ග‍්‍රාමීය පරිසරය සහ චරිත ගැන සඳහන් වෙනවා. මෙයට ඔබේ ළමා කාලය ගත කළ හැටි බලපෑවා ද?

අපි ජීවත්වුනේ කැළණි ගඟ කිට්ටුව ගමක. කොහෙත්ම ඒක ගමක් කියන්න තරම් ගමක් නම් නෙමෙයි. ඒත් වෙල්යායක් තිබුනා. නැන්දා, මාමා, ආච්චි, සීයා… ගොඩාක් නෑදෑයෝ හිටියා. තාත්තා නැති වුනා කියලා මං හුදකලා වුනේ නැහැ. නෑදෑයෝ වැඩි නිසා මගේ නිදහස ගොඩක් සීමා වෙලා තිබුනේ…

පසුකාලීනව මං රැකියාව සඳහා අනුරාධපුරයට ගියා නවතින්න. එතකොට තමයි මට නිදහස නියම විදිහට අත් විඳින්නට ලැබුනේ. ඒ කාලේ මම තනියම උයා, පිහාගෙන යාළුවො හඳුනගෙන අලූත්ම ජීවිතයක් පටන් ගත්තා. ඒ ජීවිතයේ මට දැනුන අලූත් ගතිය මගේ බොහෝ කවිවලට පසුබිම් වුණා.

” ඔව්,

මා ඔබට ආදරය කරනු ඇත

දවසට දෙවරක් දත් මදින ලෙසට…

කෑමට පෙර අත සෝදන ලෙසට…”

(තාණ්ඩව : යෝජිත මනාලිය -පිටුව :27)

ඉසුරු මෙහෙම ලිවුවෙ ඇයි?

ඒ දවස්වල මං හිටියේ අනුරාධපුරේ. අපෙ අම්මා, මගෙ නෑදෑයෝ මට බඳින්නය කියලා කරදර කරන්න ගත්තා. මට එක මොහොතක හිතුනා අම්මව සන්තෝස කරන්න බඳින්නත්. ඒත් එහෙම බැන්දොත් මොකක් වේවි ද? නිදිකුම්බා කටුවක් වගේ මගේ හිත පෑරි, පෑරි ජීවිත කාලයක් තියේවි. මේ කවියෙ තියෙන්නේ ඒ දෙගිඩියාව. නමුත් දැන් මගේ තීරණය නිශ්චිතයි.

 

”අවැසිමද මට ඔබව ?

ඔබේ පෙම

තනිව යා හැකි නොවෙද මේ ගමන ?

(තාණ්ඩව : ගමන් සගය – පිටුව : 30)

ඉසුරු මෙහෙම ලිවුවෙ ඇයි?

මගේ පෞද්ගලික මතය සමලිංගික පුද්ගලයන්, විෂම ලිංගික විවාහ අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. මිනිස්සුන්ගේ ලිංගික නැඹුරුතාවය පවා විෂම ලිංගික, සමලිංගික පිරිමි, සමලිංගික ගැහැණු, ද්විලිංගික කියා වෙන් කරනවාටත් මා කැමති නැහැ. මිනිස්සුගෙ ලිංගිකත්වය වර්ග කරන්න හරි අමාරුයි.

මට හිතුනා ”තනිවම යන්න නොහැකි ද මේ ජීවන? ගමන” කියලා. තමන් විවාහ වෙන්නෙම  ඕනා, ආදරය කරන කෙනා එක්ක එකට ජීවත් වෙන්නම  ඕනා කියන දේවල් වෙනස් වෙන්න පුළුවන් නේද? ආදරය අවශ්‍යයි. ඒත් කුටුම්භගත වීමක් නැතිව තනියම ජීවත් වෙන එක හොඳයි කියලා මං පෞද්ගලිකව හිතනවා.

 

”වීනස්…

ඔබ සතුව නැත…

මහ ද පිරිමදින අත්…

 

නැවත පිටතට යනවිට

පැළ`ද ගන්නා තෙක්

එළියෙන් තබා ආවෙමි

සුපුරුදු වෙස් මුහුණ..”

(තාණ්ඩව :නුහුරු ඇති ඔබට – පිටුව :43)

 

මෙහි ඔබ වීනස් කියන සංකේතයෙන් අදහස් කළේ කුමක් ද?

වීනස් කියන්නේ ආදරයට, අලංකාරයට අධිපති රෝම දෙව්දුව. එහෙත් ඇය ඉතා ලස්සනයි. සමාජය බොහෝ දුරට ලස්සන ගැහැණියක් සමග ජීවිතය ගත කිරීම බලාපොරොත්තු වෙනවා. වීනස් කියන්නේ ඒ ගැහැණිය කියන සංකල්පය.

වීනස් ප‍්‍රතිමාවට අත් නැහැ. මහද පිරිමදින අත් නැහැ. ඒ නිසා මම වීනස් අතහැර, මහද පිරිමදින අත් ඇති වෙනත් කෙනෙක් ළඟට යනවා. ඒත් හැමතිස්සෙම සමාජයට යන කොට මං වෙස්මූණක් දා ගන්නවා, ඒ බව හංගන්න.

අනතුරුව හිස තබා

මගේ උරහිස මත

ලොකු කඳුළු බිඳු වගුරයි

 

නතරවන ලෙස ඉල්ලන

මගේ ඇවටිලි නොතකා

මොහොතකින් අඳුරෙහි

වැනි වැනී අතුරුදන් වෙයි…

 

(තාණ්ඩව :එක්තරා මිතුරෙක් -පිටු :70-71)

 

ඉසුරු, මේ ‘එක්තරා මිතුරා’ කියන්නේ දන්නා අඳුනන කෙනෙක්ද?

ඔව්, ඒකත් අනුරාධපුරේ හිටපු දවස්වල වෙච්ච දෙයක්. එක්තරා මිතුරා දවල්ට මගෙත් එක්ක කතා කරන්නෙත් නැති තරම්. පාරෙදි දැක්කත් නොදැක්ක වගේ යනවා.? රෑට හොඳටම බොනවා. බීලා මං ඉන්න තැනට එනවා. ඇවිත් මට නොයෙක් දේ කියනවා, සමහර වෙලාවට අඬනවා. කවදාවත් ආදරයක් ගැනවත්, ලිංගික හැගීමක් ගැනවත් විවෘතව කතා කරන්නේ නැහැ. ඒත් මට හිතුනා, මේ එන්නේ ඒ දේවල් කියා ගන්න බැරි කමට ද කියලා. ඒත් අපි කවදාවත් එවැනි දෙයක් කතා කළේ නැහැ. රැයෙහි මිතුරෙක් වුනත්, ඔහු දවල්ට නන්නාඳුනන පුද්ගලයෙක් වගේ. මේ කවිය ලියැවුණේ ඒ මිතුරා ගැන.

සඳුන් කියන කවිය ඇත්ත සිද්ධියක් ද?

ඔව්, ඒක ඇත්ත සිද්ධියක්. ඒ දවස්වල මං ඉලෙක්ෂන් ඩියුටි හිටියේ. බොරැල්ලෙ හන්දියේ දි ත‍්‍රීවීල් කාරයෝ වගයක් වට වෙලා ස්ත‍්‍රී ඇඳුමින් සැරසී සිටි සංක‍්‍රාන්ති ලිංගික තරුණයෙක්ට ගැහුවා. මට ඒ අවස්ථාවෙ ඒක නවත්තන්න  ඕන වුණා. ඒත් මට කිසිම දෙයක් කරන්න බැරිවුණා. පස්සේ මට මං ගැන මහ වරදකාරී හැගීමක් දැනුනා. ඒ හැගීමයි මේ කවියෙන් ඉදිරිපත් කළේ.

ඉසුරු පෞද්ගලිකව මේ කවිපොතින් වඩාත්ම කැමති කවිය මොකක්ද?

”මුහුදේ අරුම ගැන

කියවයි පොඩි ලිහිණියෙක්

දිරා ගිය ඔරු කඳකට

ඔරු කඳට හරි හිනා”

(තාණ්ඩව :ඔරුවක් සහ ලිහිණියෙක්- පිටුව :85)

 

සම්පූර්ණ කවියම මෙපමණය. මෙහි තේරුම කුමක්දැ’යි මට තේරුනේ නැත. මම හිස් දෑසින් ඉසුරු දෙස බැලූවේ මේ විකාරය මට තේරුනේ නැති බව කියන්නට මෙනි.

ඉසුරු මට තේරුම කියා දුන්නේය. පොඩි ලිහිණියා මුහුදට අලූත්ය. දිරා ගිය ඔරුක`දක් යනු මුහුදේ කරක් ගසා ජීවිත කාලයම ගෙවා මුහුද ගැන හො`දින්ම දන්නා කෙනෙකි. ඔරුක`දට ලිහිණියකු විසින් මුහුදේ අරුම ගැන කීම හිනා යන වැඩකි.”මං ඉසුරු එක්ක ඉසුරුගේ කවිවල අරුම කීමත් ඒ වගේද?” මට නිකමට මෙන් හිතුණි.

සාකච්ඡා කළේ : දමිත් චන්දිමාල් (දේදුනු පුවත්, ඊක්වල් ග්‍රවුන්ඩ් පුවත්ලිපිය, 5 වන

Advertisements

සමලිංගිකත්වය නිසා මිනිසුන් කොන් නොකරමු

සමලිංගිකත්වය නිසා මිනිසුන් කොන් නොකරමු

ආදරය යනු පොදු මිනිස් හැගීමකි. ගැහැණියක් ආදරය කරන්නේ කාට ද යන්නට එහා ගිය යමක් ආදරය තුළ ඇත. ගැහැණියක්, ආදරය කරන්නේ තවත් ගැහැණිකට නිසා හෝ පිරිමියෙක් ආදරය කරන්නේ තවත් පිරිමියෙකුට නිසා හෝ ආදරයේ සුන්දරත්වය කිසි ලෙසකින් අඩු නොවේ.

ආදරය යනු පොදු මිනිස් හැගීමකි. අපිට ආදරය දැනෙන්නේ මිනිසුන් ලෙස ‍ඉපදුනු බැවිනි. මිනිසුන් අතර ඇති ආදරයට අප ගරු කළ යුතු වන්නේ ද එබැවිනි. මනුෂ්‍ය ආදරය තුළ ඇති විවිධත්වය එයයි. ඒ විවිධත්වයට ගරු  කළ නොහැකි වීම විවිධත්වයට බය වීම, විවිධත්වය ප්‍රතික්ෂේප කිරීම මනුෂ්‍ය වර්ගයා ට ඇති විය හැකි බරපතලම අර්බුදයයි.

හැම මනුෂ්‍යයෙක්ම එකිනෙකාගෙන් වෙනස්ය. එක හා සමාන මිනිසුන් දෙදෙනෙකු නොමැති තරම්ය. ආගම, කුලය, ජාතිය, භාෂාව, ස්ත්‍රී පුරුෂ ලිංග භේදය, ලිංගික කැමැත්ත, වැනි නොයෙකුත් කාරණා මත මිනිස්සු තවත් මිනිසුන් වෙනස් කිරීමට ලක් කරති. මේ කාරණය කොයි තරම් දුරට නිවැරැදි ද? මිනිසුන් හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස් බව තේරුම් ගෙන ඒ විවිධත්වයට ගරුකරන්නට පුරුදු වන්නේ නම් ලෝකය කොයිතරම් සුන්දර වනු ඇත් ද?

සමලිංගික පුද්ගලයන්, ද්විලිංගික පුද්ගලයන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් යනු මේ මනුෂ්‍ය පවුලේ සාමාජිකයන්ය. විෂම ලිංගික පුද්ගලයන්ට හා සමානවම ඔවුන්ට මානව අයිතිවාසිකම් හිමිවිය යුතුය. සියල්ලමටත් වඩා ආදරය කරන්නට කිසිවකුට ඇති අයිතිය උදුරා ගත නොයුතුය.

එහෙමත් තවමත් රටවල් 70 කට අධික ප්‍රමාණයක සමලිංගිකත්වය සැලකෙ‍න්නේ අපරාධයක් වශයෙනි. එනිසා සමලිංගික පුද්ගලයෝ නොයෙකුත් අසාධාරණකම්වලට ලක්වෙති. එය නතර කිරීම වහාම කළ යුත්තකි.

සමලිංගිකත්වය සංස්කෘතියට, ආගමට, සදාචාරයට විරුද්ධ යැයි බොහෝ අය ප්‍රකාශ කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් මෙසේ ප්‍රකාශ කරයි. “සමහරවිටක මානව අයිතිවාසිකම් හා තමන්ගේ පෞද්ගලික අකමැත්ත, සංස්කෘතිය, ආගම, සදාචාරය වැනි දෑ පිළිබද ගැටුම්, මුලු මහත් සමාජයයක අකැමත්ත, රජයයක අකමැත්ත, දක්වා දුර දිග ගිය ගියත් අවසානයේ මානව අයිතිවාසිකම් විසින්ම සටන දිනිය යුතුය. සමලිංගික පුද්ගලයන්ට මානව අයිතිවාසිකම් ලබා දිය යුත්තේ ද ඒ නිසාය”

සමලිංගික පුද්ගලයන් කොන් කිරීමට එරෙහිව අපි සටන් වදිමු. ඔවුන්ට ද අනෙකුත් අයට සමානවම මානව අයිතිවාසිකම් ඇත. ඒ සටන සමලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කරන සටනක් මෙන්ම, මනුෂ්‍යයත්වය වෙනුවෙන් කරන සටනකි.

සටහන – දමිත් චන්දිමාල්