සමලිංගිකත්වය නිසා මිනිසුන් කොන් නොකරමු

සමලිංගිකත්වය නිසා මිනිසුන් කොන් නොකරමු

ආදරය යනු පොදු මිනිස් හැගීමකි. ගැහැණියක් ආදරය කරන්නේ කාට ද යන්නට එහා ගිය යමක් ආදරය තුළ ඇත. ගැහැණියක්, ආදරය කරන්නේ තවත් ගැහැණිකට නිසා හෝ පිරිමියෙක් ආදරය කරන්නේ තවත් පිරිමියෙකුට නිසා හෝ ආදරයේ සුන්දරත්වය කිසි ලෙසකින් අඩු නොවේ.

ආදරය යනු පොදු මිනිස් හැගීමකි. අපිට ආදරය දැනෙන්නේ මිනිසුන් ලෙස ‍ඉපදුනු බැවිනි. මිනිසුන් අතර ඇති ආදරයට අප ගරු කළ යුතු වන්නේ ද එබැවිනි. මනුෂ්‍ය ආදරය තුළ ඇති විවිධත්වය එයයි. ඒ විවිධත්වයට ගරු  කළ නොහැකි වීම විවිධත්වයට බය වීම, විවිධත්වය ප්‍රතික්ෂේප කිරීම මනුෂ්‍ය වර්ගයා ට ඇති විය හැකි බරපතලම අර්බුදයයි.

හැම මනුෂ්‍යයෙක්ම එකිනෙකාගෙන් වෙනස්ය. එක හා සමාන මිනිසුන් දෙදෙනෙකු නොමැති තරම්ය. ආගම, කුලය, ජාතිය, භාෂාව, ස්ත්‍රී පුරුෂ ලිංග භේදය, ලිංගික කැමැත්ත, වැනි නොයෙකුත් කාරණා මත මිනිස්සු තවත් මිනිසුන් වෙනස් කිරීමට ලක් කරති. මේ කාරණය කොයි තරම් දුරට නිවැරැදි ද? මිනිසුන් හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස් බව තේරුම් ගෙන ඒ විවිධත්වයට ගරුකරන්නට පුරුදු වන්නේ නම් ලෝකය කොයිතරම් සුන්දර වනු ඇත් ද?

සමලිංගික පුද්ගලයන්, ද්විලිංගික පුද්ගලයන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් යනු මේ මනුෂ්‍ය පවුලේ සාමාජිකයන්ය. විෂම ලිංගික පුද්ගලයන්ට හා සමානවම ඔවුන්ට මානව අයිතිවාසිකම් හිමිවිය යුතුය. සියල්ලමටත් වඩා ආදරය කරන්නට කිසිවකුට ඇති අයිතිය උදුරා ගත නොයුතුය.

එහෙමත් තවමත් රටවල් 70 කට අධික ප්‍රමාණයක සමලිංගිකත්වය සැලකෙ‍න්නේ අපරාධයක් වශයෙනි. එනිසා සමලිංගික පුද්ගලයෝ නොයෙකුත් අසාධාරණකම්වලට ලක්වෙති. එය නතර කිරීම වහාම කළ යුත්තකි.

සමලිංගිකත්වය සංස්කෘතියට, ආගමට, සදාචාරයට විරුද්ධ යැයි බොහෝ අය ප්‍රකාශ කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් මෙසේ ප්‍රකාශ කරයි. “සමහරවිටක මානව අයිතිවාසිකම් හා තමන්ගේ පෞද්ගලික අකමැත්ත, සංස්කෘතිය, ආගම, සදාචාරය වැනි දෑ පිළිබද ගැටුම්, මුලු මහත් සමාජයයක අකැමත්ත, රජයයක අකමැත්ත, දක්වා දුර දිග ගිය ගියත් අවසානයේ මානව අයිතිවාසිකම් විසින්ම සටන දිනිය යුතුය. සමලිංගික පුද්ගලයන්ට මානව අයිතිවාසිකම් ලබා දිය යුත්තේ ද ඒ නිසාය”

සමලිංගික පුද්ගලයන් කොන් කිරීමට එරෙහිව අපි සටන් වදිමු. ඔවුන්ට ද අනෙකුත් අයට සමානවම මානව අයිතිවාසිකම් ඇත. ඒ සටන සමලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කරන සටනක් මෙන්ම, මනුෂ්‍යයත්වය වෙනුවෙන් කරන සටනකි.

සටහන – දමිත් චන්දිමාල් 


1 Comment

  1. සිරාවටම


Comments RSS TrackBack Identifier URI

Leave a comment